Tuesday, November 17, 2015

අසාධාරණයි යකෝ...

මොකද ඩෝ හැම තැනම සුදු කොඩි
වලව්වේ මහ ගෑනි මලහම
එක කොඩියක් එල්ලුවද
අපේ අම්මගෙ මළගමට
ගලෝපියව් ඔය ඔක්කොම
යන්නෙපා ඕකුන්ගෙ ලෙවකන්න
බඩට දන්කුඩ නැතත්
අපිත් රැස්පොට් නැද්ද
(අදින් වසර විස්සකට තිහකට පෙර ගමක සිදුවූ සිද්ධියකි.)
- දසයා

Friday, November 06, 2015

ඇවන්ගාර්ඩ් මාර-ගාඩ්

පරණ කතාවේ තියෙන්නේ මහ එවුන් හිටගෙන චූ කරනකොට, පොඩි එවුන් දුව දුව චූ කරනවා කියල උනත් පහුගිය දවස් ටිකේම අපේ පොලෝසිය පාර දිගේ දුව දුව කරපු එක, පොලෝසිය බාර ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටගෙන කරලා පෙන්නුවේය. නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නයක් විසඳා ගන්නා විදිහවත් දන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ ඉල්ලගෙන කන්න ලෑස්ති වූ සැනින්ම පොලෝසියේ රාළහාමිලාත් එක පොදියට පැන තමන්ගේ ස්ට්‍රෙස් ඔක්කොම උන් පිටින් ඇරියේ තලු මර මර කුණක් කන නරි රොත්තක් වගේය. බලන් ඉන්න හිරිකිතය. ඒ ගැන රටේ මහා එකාගේ ඉඳලා පොඩි එකා දක්වාම ඇතිවෙන්න කතාකරන නිසා දැන් කතාකරන්නේ උන්ගේ ලොකුතැන ගැනය.

මාර-පොන මහත්තයා රටේ ප්‍රසිද්ධ නීතිඥයෙක් උනාට කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටෙරෙස්ට් කියා දෙයක් අහලවත් නැත. ඒ තබා ලොව සුප්‍රසිද්ධ මිස්ටර් ක්ලීන් වූ එතුමාගේ බොසාත් එහෙම දෙයක් දන්නේ නැත. එහෙම නැත්නම් රෙදි ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඇවන්ගාර්ඩ් ආරක්ෂා කර කර තමන් ඒ සමාගම වෙනුවෙන් මුදලට පෙනී සිටින නීතිඥයා කියලා කියද්දීත් ලඟට කතාකර දෙකක් කියා ඇමතිකම ගලවලා දාන්නේ නැතුව අහක බලන් ඉන්නේ නැත. ඇවන්ගාර්ඩ් හරිද වැරදිද කියන්න හුදී මහජනයා වූ අපට තියෙන තොරතුරු මදිය. ඒ සඳහා ක්‍රමවත් පරීක්ෂණයක් සිදුවිය යුතුය. හැබැයි ආණ්ඩුවේ ඇමතිලා පොදි පිටින් ඇවන්ගාර්ඩ් ආරක්ෂා කරන්න පපුව දෙන විදිහට, ඇවන්ගාර්ඩ් එකට හංගන්න දෙයක් තියන බවත් ඒ වෙනුවෙන් අත දිගහැර මුදල් වියදං වන බවත් දැනගන්න අමුතු පරීක්ෂණ අවශ්‍ය නැත.

රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් තියරි ඔහුගේ ගජ මිතුරන්ට අදාල නොවන බව ඔහු මීට කලිනුත් පෙන්වා දී ඇත. රටම එපා කියද්දී රවී මුදල් ඇමති කරන්නේත් මරපොනලා ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ගෙන ඇමතිකම් ලබදෙන්නේත් තමන්ව ආරක්ෂා කිරීමට කළගුණ සැලකීමටය. කෙසේවෙතත් රනිල් මෙවර බලයට ආවේ දුෂණ වංචා නිසා මහින්දගේ රාජාණ්ඩුව එපාවූ ජනතාවගෙන් ණයටගත් සටන් පාඨ පෙරටු කරගෙනය. ජනතාව මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බලය දුන්නේ සජින්ලා බැසිල්ලා වෙනුවට මාරපොනලා අබේවර්ධනලා රජකරවන්න නොවන බවත් එසේ උනොත් තමන්ටත් වැඩිකල් නොගොස් මහින්දගේ අඩිපාරේ යන්න වෙන බවත් සිහියට නොඑන්නේ නම් එය රනිල්ගේ විතරක් නොව රටේත් කරුමයය. - දසයා

Friday, July 10, 2015

බල්ලා බැඳ දමනු!

ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි පරිස්සමට කියල කූඩුවෙ යතුරත් ගමරාලටම දුන්නලු. බල්ල කුඩුවෙ දාපු වෙලේ ඉඳන් ගමේ හිටපු ඔක්කොම බල්ලො ටික පිස්සු බල්ලගෙ කූඩුව වටේට එකතුවෙලා අපේ අහිංසක බල්ලව අරින්ඩෝ කියල උඩුබුරන්න පටන් ගත්තලු. මේක කන්කරචලයක් උනත් ඔන්න ඔහෙ උන්ටම ඇතිවෙලා නවත්තයිනෙ කියල ගමේ මිනිස්සු කරබාගෙන හිටියලු. ඒ වුනාට මේ සද්දෙ ඇහෙද්දි ගමරාලට නින්ද යන්නෙම නැහැල්ලු. මගෙත් එක්ක සැහෙන කාලයක් එකට හිටපු බල්ල නේද කියල වෙලාවකට හිතෙනවලු. ඒවුනාට මූ එළියේ හිටියනම් වෙලහකට මාවත් කාල නේද කියල තව වෙලාවකට හිතෙනවලු. දැන් ගෙදර ආරක්ෂාවට හිටපු බලලත් කූඩු කරල ඉන්න එකේ අල්ලපු ගෙදර සේතන් ගොයිය ඇවිත් අපේ ගෙදර ලගියිද දන්නෙ නෑ කියල තව වෙලාවකට හිතෙනවලු. ඔහොම හිතල හිතලම ගමරාලට සාංකාව වගේ හදුනලු. කරන කියන දේවල් මතකත් නෑලු. ගෙදර නෝනට එකක් කියනවලු ටිකකින් එහා ගෙදර සේතන් ගොයියට ඊට හාත්පසින්ම වෙනස් එකක් කියනවලු, බල්ලව අරිනවා කියනවලු නෑ කියනවලු, බල්ල ඇරල අනික් බල්ලන්ට ගහල පන්නනව කියනවලු, එක විකාරයයිලු. ඔය අස්සෙ බල්ල අල්ලන්න ඉස්සරහින්ම ගිය සේතන් ගොයිය මිනිහගෙ යාළුවො කට්ටියක් එක්ක සෙට් වෙලා රෑට රෑට ගමරාලගෙ වත්තෙ පොල් බානවලු. එක දවසක් ගහ උඩ හිටපු එකෙක් අතේ මාට්ටු උනාම තණකොළ ටිකක් කපාගන්නමයි යැව්වෙ කියල දහ අතේ දිවුරනවලු. මේ ඔක්කොම ජරමර අස්සෙ ගමරාල තෙපර බබා ඉඳල ඉඳල හොඳ නැකතක් එහෙම බලල බලු කූඩුවෙ දොර ඇරල දැම්මලු. අනේ ඉතින් මිනිස්සු අමාරුවෙන් බැඳල දාපු බල්ල මෙන්න ආයෙ පුරුදු විදිහටම දඩාවතේ යනවලු. ගමයත් එක්ක බල්ල අල්ලන්න උදවු කරපු උන්ව දැක්කම අන්ඩක් එහෙම උස්සල කින්ඩි දානවලු. හැබැයි බල්ල ගමරාලටනම් වෙනදටත් වඩා ආදරෙයිලු. ළඟටම වෙලා කෙඳිරි ගගා ඉන්නවලු. හැබැයි ගමේ මිනිස්සුනම් කියන්නෙ බල්ලගෙ ඔය සිල් පුර හඳ පායනකල් විතරයි, කට්ටියම එකතුවෙලා එදාට බල්ලො සෙට් එකම එලෝල දැම්මෙ නැත්නම් බබිත් සුන් බබීගෙ අම්මත් සුන් ගමරාලත් සුන් කියලලු. - දසයා

Thursday, April 23, 2015

දිවි පුදා හොරු රකිමු



පින් සිද්දවෙයි බුදු මහත්තයො
ගෙනියන්න නම් එපා කොල්ලව
අපේ බඩගින්දර නිවන්නයි
කෙරුවෙ ඌ ඔය දහදුරා වැඩ
අන්න චමිලය ඇරෙස්ට් කරලලු
අතේ කෝට්ලු සුද්දෙ දෙද්දිම
රජකාලේ දඬුවම් දීල මදි
ඔය වගේ වැඩ කරන හැත්තට
පොලිසියෙන් සම්බුව හම්බවෙයි
බිව්ව රන් කිරි මතක් වෙන්නම
බැනර් ටික ඔක්කොම හරිද බන්
හෙට වැඩේ දෙමු ඇට්ටි හැලෙන්න
අපේ ලොක්කට ලෙඩක් දැම්මොත්
මමත් රෙඩි උන් මරන් මැරෙන්න

- දසයා

Thursday, March 12, 2015

ඉංග්‍රීසි බැරි අපේ ජනපති... ලැජ්ජයි


ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැකියාවට සමච්චල්කිරීමෙන්ම මොවුන්ගේ නිරුවත හෙළිවෙන බව ඔවුන්ට නොතේරේ. පිටිසර ගමක ඉංග්‍රීසි නොදන්නා දෙමව්පියන් දෙදෙනෙකුට දාව ඉපිද මහන්සියෙන් ඉංග්‍රීසි ඉගෙනගත් මටනම් ඉංග්‍රීසිය යනු සන්නිවේදන මාධ්‍යයක් මිස ලොවට පෙනෙන්නට පැළඳිය යුතු ආභරණයක් නොවේ. රටේ නායකයා යනු ඉංග්‍රීසි පුළුවන් උඩු රැවුල වැවෙන පපුව ඉස්සරහට දමා කෙලින් හිටගන්න පුළුවන් අයෙකු වියයුතුනම්, එවන් පුද්ගලයන්ට පමණක් චන්ද බලය ලබාදිය යුතුයැයි මම යෝජනා කරමි. එවිට මේ වීරයන් කීදෙනෙකු චන්දය දීමට සුදුසුවේදැයි බැලිය හැකිය. ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම යනු රාජ්‍ය නායකයාගේ ශාරීරික අඩුපාඩු සෙවීම නොව, ආණ්ඩුවේ අඩුපාඩු සෙවීමයි. මේ ආණ්ඩුව තුල සිදුවන වංචා දුෂණ වැරදි ගැන විවේචනය කල යුතුමය. මෛත්‍රීපාල සිරිසේන වරදක් කරන්නේනම් එයද විවේචනය කල යුතුමය. නමුත් එය ඔහුගේ ගැමිකම මිටිකම මත පදනම් නොවිය යුතුය. පෞර්ෂය යනු ශාරීරික ලක්ෂණමත පදනම්වන්නක්ය කියන මානසිකත්වයෙන් ලෝකය මිදී ගොඩක් කල්ය. ශාරීරික ලක්ෂණ මත පදනම්ව නායකයන් තේරීම මේ වනසිට ගෝත්‍රිකයන් විසින් පමණක් සිදුකරන්නකි. අවුරුදු දෙදහස් පන්සියයකටත් එහා දිවෙන ශිෂ්ට ඉතිහාසයක් ඇති අප නැවත ගෝත්‍රික යුගයට යනවාද යන්න තීරණය කිරීම අප සතුය.

Thursday, January 08, 2015

ආදරණීය ලොකු පුතේ...

ආදරණීය ලොකු පුතේ,

උඹ බලනව ඇති උඹේ තාත්ත වෙනද වගේ නෙමේ පහුගිය ටිකේ දකින දකින කෙනා එක්ක වාද කරන්නෙ මොකද කියල. පුංචි උඹට කළගුණ සලකීම, යහපාලනය වගේ දේවල් නොතේරුණත් උඹට හිතෙනව ඇති ලොසින්ජරයක්වත් හම්බවෙන්නෙ නැති දේකට උඹේ තාත්ත මෙච්චර වද වෙන්නෙ ඇයි කියල. ඒ හැම වාද විවාදයක්ම අවසානයේ ඒ හැමදේටම වඩා ප්‍රබලව පුංචි කතිරෙකින් අපේ තීරණය ප්‍රකාශ කරන දවස තමයි අද.

දෙදාස් අටේ උඹ ඉපදෙද්දිත් අපේ රට තිබුනේ තිස් අවුරුද්දක් පුරා තිබුන යුද්ධෙට අහුවෙලා. උඹට අවුරුද්දක් වෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මුළු රටම එකතුවෙලා යුද්ධෙ ඉවර කරා. කවුරු මොනව කිව්වත් ඒකෙ ගෞරවයෙන් විශාල කොටසක් මහින්ද මහත්තයට ලැබෙන්න ඕන, මොකද යුද්ධෙ පැරදුනානම් එකේ අපවාදය විඳින්න වෙන්නෙත් එතුමට නිසා. යුද්ධෙන් පස්සෙ අපි හැමෝම බලාපොරොත්තු උනේ යුද්ධෙ දිනපු වීරය ඒ එඩිතර කමින්ම රට සංවර්ධනය කරා ගෙනියයි කියල. උඹලට අපිට තිබුනට වඩා ලස්සන රටක් ඉතුරු කරයි කියල. ඒත් උනේ ඒකෙ අනික් පැත්ත. එතුමා කලේ ආසියාවේ ආශ්චර්යය කියල ආලවට්ටමක් පෙන්නන ගමන් රටේ තිබුණ හැම ආයතනයක්ම තමන්ගෙ හෙන්චයියන්ගෙ ග්‍රහණයට පත්කරල රට විනාශ කරපු එක, රට උගස් කරල උන්ගෙ සාක්කු පුරෝපු එක, රටේ නීතිය වෙනුවට අවනීතිය රජ කරවපු එක. මේ රටේ දහසකුත් උගත්තු දක්ෂ පරිපාලකයො ඉද්දි රටේ ජාතික ගුවන් සේවය ඕ ලෙවල්වත් පාස් නැති තමන්ගෙ මස්සිනාට බාරදීල රටට බිලියන ගානක් පාඩු කරපු එක, යුද්ධෙන් පස්සෙ රට ජාත්‍යන්තර තලයෙදි බේරගන්න හිටපු විදේශ සේවය උසාවියෙන් වැරදිකාරයෙක් වෙච්ච ඩීල් කාරයෙකුගේ භුක්තියට බාරදුන්න එක, අපේ විතරක් නෙමේ උඹලගේ පරම්පරාවත් චීනෙට ණයකාරයො කරල ගත්තු ණය වලින් විශාල ප්‍රමාණයක් ගසා කාපු එක වගේ දේවල් යුධ ජයග්‍රහණයෙන් වහන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නැ මගෙ පුතේ. කොටින්ම කිව්වොත් මගේ අදහස අනුව මහින්ද මහත්තයට යුද්ධෙට විශිෂ්ට සාමාර්ථයක් ලැබුනට අනික් හැම සබ්ජෙක්ට් එකම ෆේල්.

මේ සමිකරණයේ අනික් පැත්තේ ඉන්න කට්ටිය වෙන වෙනම ගත්තම ඒගොල්ලන්ගෙ කැරැට්ටුව එච්චර හොඳ නෑ. අකාර්යක්ෂම චන්ද්‍රිකා, චන්ද දිනන්න බැරි රනිල්, අගමැතිකම නොදුන්න නිසා එළියට බැස්ස මෛත්‍රී වගේ අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල කට්ටිය අහනව. ඒ  කතාවෙත් ඇත්තක් නැතුවාම නෙමෙයි. ඒත් පුතේ මේ වෙලාවෙ මහින්ද මහත්තයා ගෙදර නොයැව්වොත් උඹගේ පරම්පරාවට විතරක් නෙමේ අපේ පරම්පරාවෙ අයගේ ජීවිතේ ඉතිරි කොටසත් ගෙවන්න වෙන්නෙ ඒකාධිපති පාලනයක යටත් වැසියෝ වගේ කියන එක පැහැදිලියි. උඹෙත් මගෙත් මව්රට ණයවල හිලව්වට චීනෙට පවරාදෙන්න වෙන බව පැහැදිලියි. අවනීතිය, මිත්‍යාව, දූෂණය රටේ රජවෙනබව පැහැදිලියි. ඒක නිසා මෛත්‍රීපාල කියන පුද්ගලයා ගැන නෙමෙයි ඒ පිටිපස්සේ තියන ජනතා බලවේගය සහ වැඩපිළිවෙල ගැන විස්වාසය තියල මේ වෙලාවෙ හංසයා වෙනුවෙන් මම මගේ චන්දය ලබාදෙන්න මම තීරණය කළා. ඒ තීරණයෙන් ලැබෙන ප්‍රතිපල හොඳ වෙයිද නරක වෙයිද කියන්න මට මේ වෙලාවෙ බැරි උනත් මම දන්නවා මම ගන්නෙ මේ මොහොතේ ගන්න තියන හොඳම තීරණය. කවදාහරි දවසක උඹට හිතුනොත් උඹලගෙ පරම්පරාව මේ රටේ කොන්ද කෙලින් තියන් නිවහල් අදීන ජාතියක් හැටියට ජීවත් වෙන්නෙ උඹලගේ තාත්තල මේ ගත්තු තීරණය නිසා කියල, අපි දිනුම් මගෙ පුතේ.

මම,
උඹේ තාත්තා

Sunday, January 04, 2015

අපි මැට්ටෝය... අමුම අමු මැට්ටෝය...


අපට කුඩා කල සිට උගන්වා ඇත්තේ ලද දෙයින් සතුටුවන්නටය. එනිසා අප කරන්නේ මහන්සියට සරිලන වැටුපක්, අදායම් සාධාරණව බෙදීයන ක්‍රමයක් ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට ලැබෙන සොච්චමෙන් බඩ බාගෙට කා ලද දෙයින් සතුටු වීමට උත්සාහ කිරීමය. ඒ මදිවාට බන්දුල ගුණවර්ධන වැනි ඇම්බැට්ටයින් විසින් තියරියට අනුව එසේ ජීවත් වන ආකාරය ගැන නොමිලේ දෙන උපදෙස් ලබා ගැනීමටද අප සුදානම්ය. වැඩිහිටියන්ට ගරු කළ යුතු නිසා වැඩිහිටියන් කියන දෑ හරි හෝ වේවා වැරදි හෝ වේවා හිස් මුදුනින් පිළිගැනීමටත් ඒ ගැන ප්‍රශ්න නොකරන්නටත් අපට බලකර ඇත. මෙනිසා වැඩිහිටි හිත් නොරිදා තම සිත් රිදවාගෙන මේඩ්ඩන් වන්නට ට්‍රයි කරන කලාකාමී දරුවන්න්, කදුළු බිබී පවුල් කන ආදරවන්තයින් අපේ සමාජයේ බහුලය. මොනවා උනත් සිවුරට සැලකිය යුතු නිසා විවිධාකාර අයි.ආර් .සී කාරයන්ට සිවුරක් ඇඟට දමාගෙන ජාතිවාදය වපුරන්නට කුණුහරප දේශනා කරන්නට ඉඩදී කරබාගෙන සිටිය යුතුය. ඔවුනට එරෙහිව යන්නේනම් අබ සරණ ලැබීමට සුදානම් විය යුතුය. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති නිසා ඒ ඉතිහාසය ගැනම උදම් අනමින් අනාගතය අමතක කර දමන්නට අප හරිම කැමතිය. මහන්සි වී අනාගතය ගොඩනගනවාට වඩා අතීතය ගැන  තලුමැරීම ලෙහෙසිය පහසුය. බොහෝවිට අපි ආසියාවේ එකය ලෝකයේ එකය කියා පම්පෝරි ගසමින් ජාතියක් වශයෙන් ස්වයං වින්දනයේ යෙදීම අපේ විනෝදාන්ශයකි. හැබැයි අප පසුකර ලෝකය වේගයෙන් ඉදිරියට යනබවත් ඒ සමග යාමට යුහුසුළුව වැඩකළ යුතුබවත් අපට සිහිවන්නේම නැත. කළගුණ සැලකීම උතුම් ගුණයක් බව අපට කියාදී ඇත. එම නිසා අපේ දරුවන්ගේ අනාගතය උගස් තබා හෝ කළගුණ සලකන්නට අප පැකිලෙන්නේ නැත. මේ සියල්ල කරන අපට උදේ සිට රෑ වෙනතුරු ටීවී එකට රේඩියෝ එකට අරක්ගත් දේශපාලකයන් "බුද්ධිමත් ජනතාව" යැයි පුන පුනා කියන නිසා අපට ලොකු ආඩම්බරයක්ද ඇත. ඒත් අප බොරුවෙන් මුලා කල හැකි යළි යළිත් රැවටිය හැකි අමුම අමු මැට්ටන් බව උන් සක්සුදක් සේ දන්නාමුත් අපටනම් ඒ ගැන වගක්වත් නැත.

- දසයා

පින්තූරෙ ඉස්සුවේ මෙතනින්